ලබන මාසයේ සිට දුර ගමන් බස් වලට තත්ත්ව පරික්ෂාව අනිවාර්යය වෙයි

සෑම දුර ගමන් බස් රථයක්ම ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මේ ක්‍රියාවලිය ලබන මස මුල සිට ආරම්භ කිරීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ.

ඒ අනූව පළමු අදියරේදී කොළඹ බැස්ටියන් මාවත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජාතික ගමනාගමන කොමිසමේ අධික්ෂණය යටතේ එය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

එසේම දුර ගමන් විනෝද චාරිකා බස් රථද මෙම තත්ත්ව පරීක්ෂණයට ලක් කිරීම අනිවාර්ය වනවා.

ඒ අනූව එකී තත්ත්ව පරීක්ෂණයෙන් තොරව කිසිදු දුර ගමන් විශේෂ චාරිකාවක් සඳහා අනුමැතිය හිමිනොවනු ඇත.

එම ක්‍රමවේදය මත කිලෝමීටර 100ට වැඩි දුරක් ගමන් ගන්නා බස් රථ ධාවනය ආරම්භයට පැය 48කට පෙර යෝග්‍යතා සහතිකයක් ලබාගැනීම සිදුකළ යුතු වෙනවා.

මීට අදාළ උපදේශයන් ඉදිරියේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් චක්‍රලේඛයක් මගින් නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.

අදාළ වැඩපිළිවෙල දිවයින පුරා ව්‍යාප්ත කිරීමේදී රථවාහන අලුත් වැඩියා කරන සේවා ස්ථාන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පරික්ෂාවට ලක්කරන අතර අනතුරුව යෝග්‍යතා සහතිකයක් නිකුත් කිරීමේ බලය ලබාදීමට කටයුතු කරනු ඇත.