අද රතු හඳක් දිස් වෙයි

ශ්‍රී ලංකාවට මෙන්ම ආසියාවේ, ඕස්ට්‍රේලියාවේ, යුරෝපයේ සහ අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවලට  දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද (07) සිදුවන බව‍ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

එහි දී සඳ රතු පැහැයට දිස් වෙන අතර මෙම සංසිද්ධිය Blood Moon ලෙස හඳුන්වයි.

අද රාත්‍රී 8.58 සිට හෙට (08) අලුයම 2.25 දක්වා පැය 5යි මිනිත්තු 27ක පමණ කාලයක් මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාව හිමිවන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

පුර්ණ චන්ද්‍රග්‍රහණය සම්පූර්ණයෙන් දිස්වීම අද රාත්‍රී 11.01  සිට හෙට අලුයම 12.22ක් දක්වා කාලය තුළ සිදුවන බවද සඳහන් වේ.

එහි ග්‍රහණයේ උපරිම මට්ටම රාත්‍රී 11:42 ට පමණ ඇති වේ.

එමෙන්ම මෙම චන්ද්‍රග්‍රහණය පූර්ණ වශයෙන් හෝ අර්ධ ග්‍රහණයක් වශයෙන් සියයට 85ක් පමණ ලෝක ජනතාවට දිස්වනු ඇත.

2028 දක්වා මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව නොලැබෙන බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.