වස්සාන සමයේ එන තවත් පොහෝ දිනයක් වන බිනර පොහෝ දිනය අදට (07) යෙදි තිබෙනවා.
මේ පොහෝ දිනය ද ශාසනික සහ ඓතිහාසික වටිනාකම් රැසකින් යුතු පොහොය දිනයක් ලෙස සැලකිය හැකි වනවා.
කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.
එහි දී ආනන්ද හිමියන්ගේ ඉල්ලීමකට අනුව බුදු රජාණන් වහන්සේ විසින් අෂ්ට ගරු ධර්ම පනවමින් මෙහෙණි සසුනේ ආරම්භය සිදු කරනු ලැබුවා.
ගරු ධර්ම අට
- උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුව ද එදින ම උප සපන් වූ භික්ෂූහු දැකත් වැඳීම් ආදී ගෞරව දැක්විය යුතු ය.
- භික්ෂූන් නො මැති ප්රදේශයක් හි මෙහෙණක විසින් වස් නො වැසිය යුතු ය.
- අඩ මසක් පාසා මෙහෙණක විසින් භික්ෂූ සංඝයා ගෙන් පොහොය විචාළ යුතු යි. අවවාද දීමට පැමිණීම ද බලා පොරොත්තු විය යුතු ය.
- වස් අවසානයෙහි දී භික්ෂු භික්ෂුණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කටයුතු යි.
- ගරු ඇවැතකට පැමිණි මෙහෙණක විසින් උභතො සංඝයා කෙරෙහි අඩ මසක් මානත පිරිය යුතු යි.
- අවුරුද්දෙන් පුහුණු වෙමින් ශික්ෂමානාවක් ව සිට පසුව උභතො සංඝයා ගෙන් උපසම්පදාව ලැබිය යුතු යි.
- කවර කාරණයක් නිසා හෝ මෙහෙණක විසින් භික්ෂු කෙනෙකු හට අක්රොෂ පරිභව නො කටයුතු යි.
- මෙහෙණියන් විසින් භික්ෂුන් හට අවවාද නො කටයුතු ය. භික්ෂූන් විසින් භික්ෂුණීන්ට අවවාද කටයුතු ය.
මේ සමඟම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වනවා.
තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරනලද ගිරිහඬු සෑය ඉදිකිරීමත්, බුදුන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයේදී සිදුකර ඇත.

