කෙටිම ජීවිත කාලයක් තියෙන, මැදියම් රැයේ රැජින – කඩුපුල්

අපේ ගෙදර මම දාන්න කාලෙක ඉඳන් කඩුපුල් ගහක් තියෙනවා…

කඩුපුල් ගහක් කිවුවට කඩුපුල් කියන්නේ අපිශාකයක්. මේ කඩුපුල් ශාකය තියෙන්නේ අඹ ගහේ දෙබලක.

මේකේ අවුරුද්දේ එක එක කාල වලට මල් පිපෙනවා. මට එහෙම මල් පිපෙන කාල නම් එච්චර නිච්චියක් නෑ. කොහොම වුනත් ගිය මාසේ මල් පිපුණේ ඇසළ පසළොස්වක පෝය දවස අස්සේ. මේ මාසෙ මල් පිපුණේ නිකිණි අව අටවක පෝය දවස අස්සේ. මල් පිපෙනකොට එක වීඩේ පොහොට්ටු තුනක් හතරක් හට ගන්නවා. හැබැයි මල් දෙකක් එක සැරේ පිපෙනවා කියලා මම දැකලා නෑ.

කොහොම හරි මේ කඩුපුල් පිපෙන්නෙ මහ රෑ 12 ට කියනවා. හරිම සුවඳයි මේක පිපුනම. මේක උදේ හය වෙනකොට බිමට නැවෙන්න අරන් ඉර පායනවත් එක්කම පර වෙලා යනවා. ඉතින් හරිම කෙටි කාලයක් තමයි නේ මල පිපිලා තියෙන්නේ. ඒ නිසාම මේ මල වැඩිය දෙනා දැකලා නැහැ.

මේකේ පොහොට්ටු උඩ අතට වගේම පර වුණා මල් බිමට නෑවිලා තියෙනවා.

මේ ශාකය විද්‍යාත්මකව හඳුන්වන්නේ Epiphyllum oxypetalum ලෙසයි. කඩුපුල් මල ගත්තොත් කහ පාට කිලයක් සහ කලංකයක් තියෙනවා, සුදු අළු රේණු ගොඩක් තියෙනවා. ඒ වටේට ඕලු වගේ සිහින් සුදු මල් පෙති තියෙනවා. අයිනේම තියෙන මල් වල සුදු වගේම රෝස පාටත් තියෙනවා.

කඩුපුල් මලක් – උදේ 6.00 ට (පර වෙන්න යන ගමන්)

මේ මලේ නටුව තියෙන්නේ කොලයට සවි වෙලා, එහෙම බැලුවොත් කොලයෙන් තමයි මල එන්නේ. මලේ නටුව රෝස පැහැය මිශ්‍ර වෙලා තියෙන පාටක් ගන්නවා.

කඩුපුල් කියන්නේ පතොක් පවුලට අයත් විශේෂයක්. මේ කඩුපුල් කොලේ ගත්තොත් ඒක අක්කපාන වල ලොකු එකක් කියන්න පුළුවන්. ඝනකම, මාංශල කොළයක් ඒක.

අලුත් කඩුපුල් මල් වල නැතුව කොළයෙන් ඇවිත් තියෙන ආකාරය


බුදුගුණාලංකාරය ග්‍රන්ථයේ සඳහන් වෙන විදිහට මේ කඩුපුල් මල් ගෙනාවේ නාග ලෝකයෙන් කියනවා. නාග ලෝකයේ නාගයන් බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් මේ මල් ගෙනත් තියෙනවා කියලා තමයි එහි සඳහන් වෙන්නේ.

කඩුපුල් පොහොට්ටු දෙකක්

පිපුණු කඩුපුල් මලක් – උදේ 6.00 ට වගේ

පර වෙලා ගිය කඩුපුල් මල්

කඩුපුල් මුල්