තැපැල් වර්ජනය අඛණ්ඩව

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් ඊයේ (17) පස්වරු 4.00 සිට ඔවුන් මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවා.

මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ආරම්භ වූ මෙම වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයින පුරා ක්‍රියාත්මක බවයි තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේ.

මේ හේතුවෙන් අද දිනයේ දි සියලුම තැපැල් කටයුතු අඩපණ වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා අවධාරණය කරනවා.

කෙසේවෙතත් අදාළ වැඩවර්ජනය සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ, තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් රැසක් ලබා දී තිබිය දී මෙලෙස වර්ජනයක නිරත වීම අසාධාරණ බවය.

මේ ඔහු දැක්වූ අදහස්,

“උප තැපැල් කාර්යාල 3,000ක් ගණනක් තියෙනවා. ඒ අය වැඩවර්ජනයේ නෑ. නමුත් තැපැල් භාණ්ඩ බෙදීමේ යම් ප්‍රමාදයක් ඇති විය හැකියි. තැපැල්පති විදියට මේ වෙලාවේ කනගාටුව පළ කරනවා සිද්ධ වෙන අපහසුතාවය සම්බන්ධයෙන්. රාජකාරියට වාර්තා කිරීමට කැමති පිරිසක් ඉන්නවා. නමුත් තර්ජන තියෙනවා. මම පොලිස්පතිට ලිපියක් ලිව්වා කාර්යාලයට පැමිණෙන අයට ආරක්ෂාවක් දෙන්න කියලා. එහෙම කඩාකප්පල්කාරී ක්‍රියා කළොත් අනිවාර්යයෙන්ම විනයානුකූලව කටයුතු කරනවා. IT ප්ලැට්ෆෝම්වලට බාධා කරලා තියෙනවා. ඒවා අපි රජයේ දේපොළවලට කරපු හානි ලෙස අපි දකිනවා. එහෙම වුණොත් විනයානුකූලව ගත හැකි ක්‍රියාමාර්ග ගන්නවා.”