37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරියගේ නමට අනුමැතිය

මෙරට 37 වන පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වැඩබලන පොලිස්පතිවරයාගේ නම පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කර තිබුණා.

ජනාධිපතිවරයාගේ නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය 7 වැනිදා රැස්වූ නමුත් එහිදී අවසාන තීරණයක් ගැනීමට හැකි වුණේ නැහැ.

පසුව අද පස්වරු 1.30 ට රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් එම ධුරයෙන් නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුව එය ජනාධිපතිවරයා වෙත දැනුම් දීමෙන් අනතුරුවයි වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ප්‍රියන්ත වීරසූරියගේ නම එම තනතුර සඳහා නිර්දේශ කෙරුණේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය 1988 වසරේදී කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව තිබෙනවා.