මේ දවස් වල 1751ක් වන ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙනවා නේ. ඉතින් කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහැර කියලා මේ මංගල්‍යයේ පෙරහැර කොටස් දෙකක් තියෙනවා කියලා දැනටමත් දන්නවා ඇති.
ඔයා පෙරහැර ගැන update එකේ ඉන්න කෙනෙක් නම් , නැත්නම් පෙරහැර බලන්න ගිය කෙනෙක් නම් මේ දෙක එකිනෙකට ටිකක් වෙනස් කියලා තේරෙන්න ඇති.
කුඹල් පෙරහර කියන්නේ හැදෙන පෙරහරක්. නැත්තම් අසම්පූර්ණ පෙරහරක්. කුඹල් පෙරහරවල් වලට ඒ නම ඇවිල්ලා තියෙන්නේ ඉස්සර කුඹල් පෙරහරේ ඉස්සරහින් මැටි වලං ගෙනියන මනුස්සයෙක් වලං කදක් අරන් ගිය නිසාලු.
කුඹල් පෙරහරවල් අසම්පූර්ණයි. වර්ණ භාවිතය අඩුයි. සුදු පාට තමා වැඩිපුර යොදාගන්නේ.

ඒ වගේම ඇත්තුන්ට දල කොපු ,පාද සිලම්බු ආදිය පැළදවීමක් වෙන්නේ නෑ. ගජනායක නිලමේ වරයා රිදී අංකුසයක් දරන්නේ. ඒ වගේම ප්‍රධාන හේවිසි කණ්ඩායම සම්පූර්ණ හිස් වැසුම් පළදින්නේ නෑ. බෙර වලට සවරං බදින්නේ නෑ. ඒ වගේම දෑලෙ ඇතුන් පිට සාමන්‍ය නිල කරුවන් දෙදෙනෙක් විතරයි ගමන් කරන්නේ. පළවෙනි කුඹල් පෙරහරේ ඇරෙන්න දියවඩන නිලමෙ යන්නෙ නෑ. දේවාල වල බස්නායක නිලමෙවරු යන්නේ නෑ. සාමාන්‍යයෙන් නවක ශිල්පීන්,නවක අලි ඇතුන් පුහුණු වෙන්නේ මේ පෙරහරවල් වලින්. ඒ වගේම දේවාල සතරේ වෙස් ශිල්පීන් වෙස් තට්ටුව පළදින්නේත් නෑ.

නමුත් රන්දෝලි පෙරහර විචිත්‍රවත්. නෙක වර්ණ ශබ්ද ආදියෙන් අලංකෘතයි.
ගජනායක නිලමේ රං අංකුසයක් දරනවා. සියලු ශිල්පීන් අලි ඇතුන් නෙක විද වර්ණ ඇදුමෙන් හැඩ වෙනවා. ඇතුන්ට දල කොපු පළන්දනවා. පෙරහරේ බෞද්ධ කොඩි වලට අමතරව දිසා කොඩි මහ දිසා කොඩි රටවල් ,කෝරල වලට අදාල කොඩි පිත්තල දිසා කොඩි, දජ පතාක සේසත් මුරායුධ ගෙනයනවා. ප්‍රධාන හේවිසි කණ්ඩායම අංග සම්පූර්ණව ගමන් කරනවා. මඟුලැතුට දෙපස දෑලෙ ඇතුන් පිට පාතමාලේ රාල හා ගෙපරාල විසින් කරඩුවට මල් ඉසිනවා සහ චාමර සලනවා. බුරුම ධජ,සියම් ධජ පෙරහරේ ගෙනියනවා. ඒ වගේම මල් පහන් කණ්ඩායම ගමන් කරනවා. දියවඩන නිලමෙ තුමා හා බස් නායක නිලමෙවරු ප්‍රධාන පිටිසර දේවාල වල බස්නායක නිලමෙවරු ගමන් කරනවා.

මේ ආදී ලෙස ඉතා විචිත්‍ර පෙරහර 5 ක් ලෙස රන්දෝලි පෙරහර පවත්වනවා.
එයිනුත් හතර වැනි හා පස්වැනි හෙවත් අවසන් රන්දෝලිය යන පෙරහර දෙකේ මඟුලැතුට පාවඩ හා උඩු වියන් ඔසවා දළදා වහන්සේට පුද කරන සියලු පූජාවන් සම්පූර්ණ කරනවා.
ඒ වගේම රන්දෝලි පෙරහරවල රන්දෝලි වඩමවනවා. එනිසා තමා මේවා රන්දෝලි පෙරහර ලෙස හදුන්වන්නේ.
කුඹල් පෙරහර හා රන්දෝලි පෙරහර අතර වෙනස්කම් කීපයක් තමා ඔය.
නමුත් දැඩි ආරක්ෂක හේතූන් නිසා මේ කිසිදු පෙරහැරක දළදා වහන්සේ වඩමවන්නේ නෑ.

(අන්තර්ජාලය ඇසුරෙන්)

