යුරෝපා සංගමය කොව්ඩ් එන්නතක් මිලට ගැනීමේ තීරණයක

අමෙරිකාවේ ඖෂධ නිෂ්පාදක ෆයිසර් සමාගම ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම එක්ව නිපදවූ කොවිඩ් එන්නතේ මාත්‍රා මිලියන 300ක් මිලදී ගැනීමට යුරෝපා සංගමය සූදානමින් පසුවේ.

එන්නත අලෙවියට තැබූ වහාම එම එන්නත මිලදීගන්නා බවත්, එය සමස්ත යුරෝපය පුරා බෙදාහරින බවත්, යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලෙයින් පැවසුවාය.

ෆයිසර් හා බයෝ එන්ටෙක් එන්නත සැලකෙන්නේ මෙතෙක් ලොව අත්හදාබැලූ සාර්ථකම කොවිඩ් එන්නත ලෙසය.

කෙසේවෙතත් ගතවූ දිනයේදීත් ලොව වැඩිම කොවිඩ ආසාදිතයින් පිරිස අමෙරිකාවෙන් වාර්තා විය.
                     
අඛණ්ඩව අට වැනි දිනටත් එරට ආසාදිතයින් ගණන ලක්ෂය ඉක්මවා ගියේය.

එරට ආසාදිතයින් මෙසේ දිනෙන් දින ඉහළ යමින් තිබිය දී විදෙස් වාර්තා පවසන්නේ පෙර නොවූ විරූ තරම් රෝගීන්ගෙන් අමෙරිකාවේ රෝහල් පිරීයමින් ඇති බවය.

කොවිඩ් රෝග ලක්ෂණ උත්සන්න වීමෙන් මේ වනවිට එහි රෝහල්වල 61,964දෙනෙකු ප්‍රතිකාර ලබයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ වසංගත ව්‍යාප්තියෙන් පසු අමෙරිකාවේ රෝහල්ගත පිරිස 60,000 ඉක්මවූ පළමු අවස්ථාව මෙය බවය.

නුදුරේදීම අමෙරිකාවේ දෛනික ආසාදිතයින් ලක්ෂ දෙක ඉක්මවනු ඇති බව විද්‍යාඥයින් පවසයි.