භූ කම්පනයෙන් පසු රුසියාවට අඩි 13ක් උස සුනාමිය රළ කඩා වදී

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණ තිබෙනවා.

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ අද උදෑසන රික්ටර් පරිමාණ ඒකක  8.8ක් ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා.

එම කම්පනය හේතුවෙන් රුසියාවට, ජපානයට සහ ඇමරිකාවට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා.

එම භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් සැලකිය යුතු පිරිසක් සුළු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. බරපත තුවාල ලැබූ කිසිවෙක් නොවන බවයි සඳහන් වෙන්නේ.

මේ අතර ඉන්දුනීසියාවේ භූ භෞතික විද්‍යා ඒජන්සිය අද දහවල් වන විට ඉන්දුනීසියාවේ සමහර ප්‍රදේශවලට මීටර් 0.5 (අඩි 1.6) ට අඩු සුනාමි රළ පහරක් එල්ල විය හැකි බවට ද අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

පැපුවා කලාපයේ, උතුරු මලුකු පළාතේ සහ ගොරොන්ටාලෝ පළාතේ වෙරළබඩ නගර සහ නගර කිහිපයකට සුනාමිය ළඟා විය හැකි බවයි එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.