වයස අවුරුදු 13 සිට 16 දක්වා දරුවන්ගේ Instagram ගිණුම් සඳහා අධීක්ෂණ පහසුව දෙමාපියන්ට ලබාදෙන යෙදවුම නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබෙනවා.
ඒ, පසුගිය 21 වැනිදා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ දී පැවති විශේෂ හමුවක් අතරතුරදීය.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහත්මිය, දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා මෙටා හි රාජ්‍ය ප්‍රතිපත්ති අධ්යක්ෂ සරීම් අසීස් මහතා, මධ්‍යම ආසියාව සහ ශ්‍රී ලංකාව සඳහා මෙටා හි රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රධානී සෙනුර අබේවර්ධන මහතා, මෙටා හි රාජ්‍ය ප්‍රතිපත්ති සහකාර කළමනාකාර ටෙහාරා පුංචිහේවා මහත්මිය සහභාගී වී තිබෙනවා.
එසේම මෙම හමුවේදී මෙරටට බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර තිබෙනවා.
Meta සමාගමේ නියෝජිතයින් වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ දත්ත ආරක්ෂණ ක්‍රියාවලිය බලාත්මක කිරීමේ පියවරයන් ඉක්මනින්ම හඳුන්වා දීමට අපේක්ෂා කරන බවයි.
එසේම නියාමනයන් සමග එකඟතාවයන්ට පැමිණීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශවය විසින්ම අදාළ හමුවේදී අවධානය යොමුකර තිබේ.
තවද, මෙටා විසින් AI යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ලොව පුරා ඇමරිකානු ඩොලර් බිලියන 75 ක් ආයෝජනය කර ඇති බවත්, ලොව පුරා මිලියන 1 ක් පමණ පරිශීලකයින් දැනට නොමිලේ මෙටා AI අත්විඳින බවත් මෙහි දී අනාවරණය විය.

