2026 අයවැය ගැන සාකච්ඡා ඇරඹෙයි

2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

එහි දී ඉදිරි අයවැය සකස් කිරීම සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් විමසා තිබෙනවා.

මේ වන විට අයවැය යෝජනා කැඳවීමේ චක්‍රලේඛය නිකුත් කර ඇති බවත්, අදාළ වියදම් සීමා තුළ ඒ ඒ ආයතනවලට අදාළව අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට මේ මස (31) දක්වා කාලය ලබා දී ඇති බවත් එහිදී මුදල් අමාත්‍යාංශ නිලධාරීහු ජනාධිපතිවරයා වෙත දැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවත්නා තත්වයෙන් රට ඉහළට ඔසවා තැබීම සඳහා වැදගත් වන අංශයන්ට ප්‍රමුඛතාව දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

ඒ අනුව, ඩිජිටල්කරණය, පොදු ප්‍රවාහනය බල ගැන්වීම, ග්‍රාමීය ප්‍රජාව ආර්ථිකයට දායකකර ගැනීම ආදී කරුණු මූලික කර ගත් ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම, ව්‍යාපෘති සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, අදාළ ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාව වෙත ගලා යන්නේද යන්න විමසා බලා ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණය බල ගැන්විය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.