භාතිය නික්ම යයි !

දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් තිබෙනවා.

වෙඩිවැදීමකින් ලද තුවාල හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් පොල්පිතිගම ප්‍රදේශයට ගොස් මහත් වෙහෙසක් දැරීය.

කෙසේ වෙතත් මාංශ පේෂි දියවී ගොස්, රුධිර සංසරණයට ද බාධා එල්ලවී හස්තියා ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බවයි ඔවුන් සඳහන් කළේ.

දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා ඊයේ (14) අනෙක් පසට හැරවීම ද සිදුකර තිබුණි.

භාතිය වයසට වඩා පිරුණු පෙනුමකින් හෙබි, සමමිතික, හැඩ දළ යුවළකට හිමිකම් කියන අවුරුදු 30 – 35 අතර වයසක පසුවන කාගෙත් අවදානයට ලක්වූ හස්ති රාජයෙකි.

නිකවැරටිය වනජීවි කලාපය තුළදී මෙම ඇතා වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටින බවට මුල්වරට ගම්වාසින් නිරීක්ෂණය කර තිබුණේ ඉකුත් පෙබරවාරි මාසයේදී වනවා.

ඉන් අනතුරුව ඉකුත් මැයි මාසයේදී තවත් වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටි භාතිය ඊට කිලෝමීටර් 20කට ආසන්න දුරිකින් පිහිටි මහව වනජීවි කලාපය තුළදී නිරීක්ෂණය වුණා.

ඒ අනුව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය හස්තියාට ප්‍රතිකාර කිරීම ඇරඹුවද සම්පූර්ණයෙන් සුවය නොලැබූ භාතිය ඉන්පසුවද වෙඩි ප්‍රහාරවලට ලක්ව ඇතැයි වාර්තා වනවා.

එලෙස කන ප්‍රදේශයටත්, පාදයකටත් එල්ල වූ වෙඩි ප්‍රහාර හේතුවෙන් දිනෙන් දින දුර්වල තත්ත්වයට පත්වූ හස්තියා අවස්ථා කිහිපයකදීම ස්ථාන කිහිපයකම දණින් වැටී තිබුණි.

ඉතා අසාධ්‍යව දුක්විඳිමින් සිටි භාතිය අද උදෑසන නික්ම ගියා.