හෙද නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩුකිරීම හේතුවෙන් ඉදිරියේ දී ගැටලු රැසක් ඇතිවිය හැකි බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසනවා.
එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පෙන්වා දෙන්නේ විශ්‍රාම ගැන්වීමේ වයස අඩුකිරීම හේතුවෙන් පවතින හෙද හිඟය තවදුරටත් උග්රවනු ඇති බවය.
“අද පවතින තත්ත්වය තුළ හෙදියන් තුන් දෙනෙකුගේ වැඩ එක් හෙදියකට කරන්න සිද්ධවෙලා තියෙනවා. මේ හේතුව නිසා හෙදියන්ගේ විශ්‍රාම යෑම අවුරුදු 63 දක්වා දික්කරන්න කියලා ඉල්ලීමක් කරා. ඒ ගැන සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කළේ නෑ. දැන් මේ සියල්ල සැලකිල්ලට ගෙන නඩුව තියෙනවා ජුලි 17 වෙනිදා. ඊට කලින් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා හැමෝටම අවුරුදු 60න් විශ්‍රාම යන්න කියලා. ඇත්තටම අපිට තේරෙන්නේ නෑ සෞඛ්‍ය බලධාරීන්ට මොකද වුණේ කියලා.”
හෙද නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරනු ලැබුවා.
ඒ අනුව අදාළ නඩු කටයුත්ත අවසන් වන තෙක් අභියාචනාධිකරණයේ තීන්දුව අත්හිටුවීමට පසුගිය මාර්තු මස 6 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
එම නියෝගයට අනුව අවුරුදු 60 සම්පූර්ණ වු සියලු හෙද නිලධාරීන් විශ්‍රාම ගැන්වීමට කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

