මුල් මාස පහට ඩොලර් මිලියන 6,933ක අපනයන ආදායමක්

2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ඇමරිකානු ඩොලර් මිලියන 6,933.35ක අපනයන ආදායමක් වාර්තා කර තිබෙනවා.

එය 2024 එම කාලයට සාපේක්ෂව 7.14% ක වර්ධනයක් ලෙසයි දැක්වෙන්නේ.

2025 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,386.66ක් වන අතර එය 2024 මැයි මාසයට සාපේක්ෂව 6.35% ක වාර්ෂික වර්ධනයක් වනවා.

ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ සාධනිය මට්ටම සහ වෙළඳපල විවිධාංගීකරණය කිරීමටත්, තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමටත් ගත් උපායමාර්ගික උත්සාහයන්ගේ ධනාත්මක බලපෑම මේ හරහා පිළිබිඹු කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

එසේම 2025 මැයි මාසයේදී පමණක්, වෙළඳ භාණ්ඩ අපනයනය වාර්ෂිකව 1.70% කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,028.52 ක් දක්වා ළඟා වී ඇත.

ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව, එම සංඛ්‍යාවට මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සදහා වූ ඇස්තමේන්තුගත ආදායම ද ඇතුළත් වනවා.

2025 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 5,344.23 කි. එය 2024 එම කාලයට සාපේක්ෂව 5.46% ක වැඩිවීමකි.

සේවා අපනයනය සමස්ත අපනයන වර්ධනයට  ප්‍ර‍ධාන ශක්තියක් වි ඇත. 2025 මැයි මාසයේදී සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 358.14 කි.

වසරේ මුල් මාස පහ තුළ සේවා අපනයන 13.20% කින් වර්ධනය වී ඇත.  එය ඇමරිකානු ඩොලර් මිලියන 1,589.12ක් ලෙස දැක්වෙනවා.