බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුව කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම සමුළුව අද සහ ලබන 27 සිට ජුලි 05 වැනිදා දක්වා දිනවල පැවැත්වෙනවා.
ඒ සඳහා බෝරා ආගම අදහන බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතව ඇති බැවින් මෙම දිනවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එම කාලය තුළ පෙරවරු 7:00 සිට රාත්‍රී 10:00 දක්වා මරදාන ඩාර්ලි පාර, ගාමිණි වටරවුමෙන් ඩී.ආර්.විජේවර්ධන මාවතට බහාලුම් රථ, ගල්, වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කිරීමට කටයුතු කර තිබෙනවා.
එමෙන්ම ලබන 27 වන දින සිට ජුලි 05 වන දින දක්වා පෙරවරු 07:00 සිට පෙරවරු 11:30 දක්වා සහ පස්වරු 03:00 සිට රාත්‍රී 10:00 දක්වා බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයේදී බෝරා සමුළුව පැවැත්වෙයි.
පොලීසිය දැනුම්දෙන්නේ එම දිනවලදී වැල්ලවත්ත දෙස සිට මුහුදුබඩ මාර්ගයේ බම්බලපිටිය හරහා කොල්ලුපිටිය දෙසටත්, කොල්ලුපිටිය සිට බම්බලපිටිය හරහා වැල්ලවත්ත දෙසටත් කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කරනු ලබන බවය.
බම්බලපිටිය පොලිස් වසමේ ග්ලේන් ආබර් පෙදෙසට වාහන ගමනාගමනය සීමා කරමින් ගාලු පාරෙන් ග්ලේන් ආබර් පෙදෙසට ඇතුළුවී මුහුදුබඩ මාර්ගයට ගමනාගමනය සිදු කිරීමට කටයුතු කරනු ලබය බවද පොලීසිය වැඩිදුරටත් දැනුම්දෙයි.
බම්බලපිටිය පොලිස් වසමේ ආදිමලේ පෙදෙසට වාහන ඇතුළු වීම පදිංචිකරුවන්ට පමණක් සීමා කෙරෙනු ඇත.

