ඉරාන – ඊශ්‍රායල ගැටුම් හේතුවෙන් ලාංකිකයන් හයක් පීඩාවට

රට තුළ පවතින ගැටුම් හේතුවෙන් ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් හය දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වාර්තා කරනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතාට අනුව, පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉතිරි දෙදෙනාගේ නිවාසවලට හානි සිදුවී ඇත.

මේ අතර, හෝටල් සහ ආපනශාලා අංශවල රැකියා සඳහා ඊශ්‍රායලයට යාමට නියමිතව සිටි ශ්‍රී ලාංකිකයින් 146 දෙනෙකු, ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් දැනට ශ්‍රී ලංකාවේ රැඳී සිටිනවා

ගුවන් ගමන් මෙහෙයුම් නැවත ආරම්භ වූ පසු ඔවුන්ගේ ඊශ්‍රායලයට ගමන් පහසු කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු සකස් කර ඇති බවයි තානාපති බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේ.