නව විෂය නිර්දේශය ලබන අගෝස්තුවේ එළිදක්වන්නවා – හරිනි

2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ ලබන අගෝස්තු මාසයේ එළි දැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (16) දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය  ආචාර්ය හරිනි අමරසුරියගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

2026 වසරේ සිට 1 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය නිර්දේශ හඳුන්වා දෙන බවත්, 2028 වර්ෂයේ 10 ශ්‍රේණියට නව විෂය නිර්දේශය හඳුන්වා දීමට නියමිත බවත් නව විෂය නිර්දේශයට අනුව 2029 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට කටයුතු කරන බව හා 9 වන  ශ්‍රේණියේ සිට වෘත්තිය අධ්‍යාපනය හඳුන්වා දීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළා.

තවද මෙම ප්‍රතිසංස්කරණවලින් නොනැවතී මේවා ක්‍රියාත්මක වන ආකාරය පරීක්ෂා කිරීමට හා විධිමත් ඇගයුම් ක්‍රියාවලියක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා. 

මෙහිදී ජාතික අධ්‍යාපන ආයතනයේ එක් එක් අංශ ප්‍රධානීන් තම අංශ මඟින් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳව අමාත්‍යවරිය දැනුවත් කරන ලදී.

මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය, එම ආයතනයේ සියලු අංශවල ප්‍රධානීන් සහභාගී වුහ.