ඊශ්‍රායලයේ රැඳී සිටින පුද්ගලයන්ගේ ඥාතීන්ට දැනුම් දීමක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති ගැටුම්කාරී වාතාවරණය හමුවේ දෙරටේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

කිසියම් ශ්‍රී ලාංකිකයෙකුට තම ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පවතින්නේ නම් තානාපති කාර්යාල නිලධාරින් සම්බන්ධ කරගැනීමේ හැකියාව පවතින බවයි විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතා පවසන්නේ.

එසේම ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමේ දුෂ්කරතා පවතින මෙරට වෙසෙන ඔවුන්ගේ ඥාතීන් ඇත්නම් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳ විමසීම් කළ හැකි බව ද ඔහු සඳහන් කරනවා.

මේ අතර ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාව හමුවේ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කරනවා.

ඊශ්‍රායලයේ බැට්යම් සහ රමාත් ගාන් යන ප්‍රදේශවලට අද (15) අලුයම එල්ල වු මිසයිල ප්‍රහාරවලින් ගොඩනැගිලිවලට සිදුවූ හානී හේතුවෙන් ඔවුන් දෙදෙනා සුළු තුවාල ලබා ඇත.