උතුරු ගාසා ප්‍රාන්තයේ සේවා සැපයූ අවසන් රෝහලත් වසා දමයි

උතුරු ගාසා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවා සපයන අවසන් රෝහල වූ ජබාලියා හි අල්-අව්ඩා රෝහල ද වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායල හමුදාව විසින් එම රෝහල වහාම ඉවත් කිරීමට නියෝග කිරීමෙන් පසුවයි මෙලෙස එය වසා දැමීමට සිදු ව ඇත්තේ.

ඒ අනුව මේ වන විට උතුරු ගාසා තීරයේ කිසිදු සෞඛ්‍ය පහසුකමක් ක්‍රියාත්මක වන්නේ නැහැ.

දෙපාර්ශවය අතර සටන් විරාමයක් සඳහා වූ උත්සාහයන් තවමත් සිදු කෙරෙන නමුත් මෙතෙක් සාර්ථක එකඟත්වයකට එළඹ නොමැති බව වාර්තා වෙනවා.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා ප්‍රකාශ කළේ සටන් විරාම ගිවිසුම “ඉතා සමීප” බව තමා විශ්වාස කරන බවයි.

මෙම ගිවිසුමට දින 60 ක සටන් විරාමයක් ඇතුළත් වන අතර, හමාස් පළමු සතිය තුළ ජීවතුන් අතර සහ මියගිය ප්‍රාණ ඇපකරුවන් 28 දෙනෙකු නිදහස් කරනු ඇති අතර, ස්ථිර සටන් විරාමයක් ක්‍රියාත්මක වූ පසු ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 30 දෙනා නිදහස් කරනු ඇත.