පාස්පෝට් නිකුත් කිරීමේ එක්දින සේවාව හෙටින් අවසන්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් මහජනතාව සඳහා ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවයේ පැය 24 පුරා සිදුකිරීම 2025.05.30 දිනෙන් අවසන් වීමට නියමිතයි.

ඒ අනුව ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවය පැය 24 පුරාවට සිදු කිරීම 2025.02.18 දින සිට ක්‍රියාත්මක වූ අතර එය මෙලෙස හෙට (30) දිනයෙන් අවසන් වන බවයි නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව 2025 ජුනි මස 02 වන සඳුදා සිට බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ එක්දින ගමන් බලපත් නිකුත් කිරීමේ සේවාව සඳහා අයදුම්පත්‍ර භාරගැනීමේ කටයුතු පෙරවරු 7:00 සිට පස්වරු 2:00 දක්වා පමණක් සිදුකරනු ලැබෙනවා.

එදිනට එක්දින සේවාව යටතේ කලින් දිනයක් වෙන් කරගනු ලැබු එදිනට නියමිත අයදුම්කරුවන් සඳහා මෙන්ම හදිසි හෝ ප්‍රමුඛ අවශ්‍යතා ඇති අයදුම්කරුවන්ටද ඉහත කාලසීමාව තුළ තම අයදුම්පත් එක්දින සේවාව යටතේ භාරදිය හැකිය.

එසේම ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍ය සේවය යටතේ අයදුම්පත් භාරගැනීම ද පෙ.ව. 7:00 සිට ප.ව. 2:00 දක්වා සිදු කෙරෙයි.

ප්‍රාදේශීය කාර්යාලවල පෙර පරිදිම පෙ.ව. 7:00 සිට ප.ව 2:00 දක්වා සාමාන්‍ය හා එක්දින අයදුම්පත් භාරගැනීම සිදුකරනු ලබයි.