වෛද්‍යවරුනුත් වැඩ වර්ජනයකට සැරසෙයි ද ?

වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනා කප්පාදු කිරීම සම්බන්ධ නිවැරදි චක්‍රලේඛය සතියක් ඇතුළත නිකුත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එසේ නොවන්නේ නම් ඉදිරියේ දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹීමට සිදුවනු ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ.

මේ ඔහු දැක්වූ අදහස්,

“මාස දෙකකට ආසන්නයි ජනාධිපතිතුමා තමාගේ තීරණය දීලා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛය ඇවිල්ලා. අප්‍රේල් 1 වෙනිදා ඉඳලා මේ නව වැටුප් ව්‍යුහය ක්‍රියාත්මකයි. අප්‍රේල් වැටුපට අදාළවත් අමතර දීමනා ආදිය වෛද්‍යවරුන්ට ලබාගන්න බෑ. මේ මැයි මාසයත් ඉවර වෙන්න ඇවිත්. මැයි ඉවර වෙද්දිවත් වෛද්‍යවරු කරන රාජකාරියට ලැබිය යුතු වටිනාකමවත් ලැබෙන්නේ නෑ. කොහොමත් ගෙවන්නේ අඩුවෙන්. අපි දකිනවා බරපතළ ගැටලුවක් තියෙනවා. මේ චක්‍රලේඛය වහාම නිවැරදි විය යුතුයි. විධායක සභාව ඒකමතිකව තීරණය කළ දේ තමා එළැඹෙන සතිය ඇතුළතවත් මේක නිවැරදි වෙන්නේ නැත්නම් අපිට යම් ක්‍රියාමාර්ගවලට එළැඹෙන්න සිද්ධවෙනවා.”