JN1 නිසා යළිත් ආසියාවට කොවිඩ් බියක්

ආසියානු කලාපයේ රටවල් තුළ කොවිඩ් වෛරසයේ නවතම උප ප්‍රභේදයක් වන JN1 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් යළිත් කොවිඩ් වෛරසයේ භීතිය මතුව තිබෙනවා. 

පසුගිය මාස කිහිපය පුරාම ආසියානු කලාපයේ මෙම වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් වාර්තා වන අතර මේ වනවිට එම සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වීම බරපතල තත්ත්වයක් බවයි සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ. 

මෙම නව ප්‍රභේදය හොංකොං, සිංගප්පූරුව සහ අසල්වැසි ඉන්දියාවෙන්ද හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

මිනිසාගේ ප්‍රතිශක්තිය අඩු වීම මත මෙම JN1 වෛරසය ව්‍යප්ත වීමේ වැඩි අවදානමක් මතුව ඇති බවයි ලෝක සෞඛ්‍ය විශේෂඥයින් පවසන නමුත් මෙම වෛරස් ප්‍රභේදය මාරාන්තික වෛරසයක් ලෙස මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. 

කෙසේ වෙතත් රෝගීන් වාර්තා වීම ඉහළ අගයක පැවතීම හමුවේ යළිත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ. 

මේ අතර අසල්වැසි ඉන්දියාවෙන්ද මෙම නව JN1 වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් වාර්තා වන අතර මහරාෂ්ඨ ප්‍රාන්තයේ පමණක් රෝගීන් 257 දෙනෙකු වාර්තා වී තිබෙනවා. 

එසේම සතියක් තුළ රෝගීන් සංඛ්‍යාව 12 සිට 56 දක්වා වැඩි වීම හේතුවෙන් JN1වෛරසය ආසාදිත පුද්ගලයින්ට වැඩි අවධානයක් යොමු කර ,සමීපව නිරීක්ෂණය කරන බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ පවසන්නේ. 

මේ දක්වා JN1 වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නැහැ.