ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් වන “ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය” සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා.

බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී මෙම සැමරුම් උත්සවය අද පස්වරු 4 ට ආරම්භ වීමට නියමිතයි.

ඊට සමගාමීව බත්තරමුල්ල ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි.

කෙසේවෙතත් මාර්ග වසා දැමීමක් නොකරන බවයි පොලීසිය සඳහන් කළේ.

යම් රථ වාහන තදබදයක් ඇති වුවහොත්, පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා කියයෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගයෙන්, කොළඹ දෙසට ගමන් කිරීම සහ පිටවීම සීමා කිරීමට සිදුවන බව, පොලීසිය පවසනවා.

ඒ අනුව කොළඹින් පිටවන වාහනවලට, පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල හංදිය දක්වා ගමන් කර, පාලම් තුන හන්දියෙන් කියයෑම් හන්දිය දක්වා ගමන් කළ හැකියි.

කොළඹට ඇතුළු වන වාහන වලට කියයෑම් හන්දියේ සිට පාලම් තුන හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර, පොල්දූව මංසන්ධියෙන් කොළඹ දක්වා ධාවනය කළ හැකි ය.