ඉදිරියට නියමිත විදුලි ගාස්තු සංශෝධනයේදී 25% ත් 30% අතර ප්‍රමාණයකින් විදුලි ගාස්තු වැඩි කිරීමකට රජය දරන උත්සාහය වහාම නතර කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
නව රජය බලයට පත්වීමට පෙර මෙරට ණය තිරසර කරණ විශ්ලේෂණය (DSA) යළි සමාලෝචනය කරන බවට ජනතාවට දුන් පොරොන්දුව අමතක කර තිබෙන බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.
මේ අනූව පෙර පැවති රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් එකඟතා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස විදුලි ගාස්තු වැඩි කිරීමකට රජය යොමු වීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවද විපක්ෂ නායකවරයා එහි දක්වා තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ජුලි මාසයේ පැවැත්වීමට නියමිත සමාලෝචනයට පෙර විදුලි ගාස්තු වැඩි කරමින් කොන්දේසි සම්පුර්ණ කිරීමේ මෙහෙයුමක රජය නිරතව සිටින බවයි ඔහු චෝදනා කරන්නේ.
පසුගිය වසරේ ලාභ ඉපැයූ ලංකා විදුලි බල මණ්ඩලය පෙබරවාරි මාසයේ සිට පාඩු ලබන බවත්, එය සංඛ්‍යාත්මකව රු බිලියන 271.1 පමණ වන බවත් පවසමින් මේ සැරසෙන්නේ එදා ජනතාවට දුන් පොරොන්දු කණු කුඩයට දැමීමක් බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.
රු 9,000 විදුලි ඛිල රුපියල් 6,000 දක්වාත්, රුපියල් 3,000 විදුලි බිල රුපියල් 2,000 දක්වාත් 33% අඩු කරන බවට, වත්මන් ජනාධිපතිවරයා මැතිවරණයට පෙර ජනතාවට දුන් පොරොන්දුව අමතක කරමින්, මේ ආකාරයෙන් රටේ ජනතාව පීඩාවට පත් කිරීම ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවක් ලෙස දක්වා තිබෙනවා.
මේ හේතුවෙන් මෙවරත් විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් මේ රටේ විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් එම නිවේදනයේ පවසන්නේ.

