මෙරට ජනගහණ වර්ධන වේගය අඩු වුවද තවදුරටත් ජනගහණ වර්ධනය වෙමින් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ 2012 වසරේ සිදුකළ සංගණනයට සාපේක්ෂව 2024 වසරේදී සිදුකළ සංගණනය අනුව මෙරට ජනගහණය 1,403,731කින් ඉහළ ගොස් ඇති බවය.
ඒ අනුව 2024 වසරේදී සිදුකළ සංගණනයේදී මෙරට ජනගහණය 21,763,170ක් ලෙස සටහන් වී තිබෙනවා.
පළාත් අනුව ගත් විට මෙරට මුළු ජනගහණයෙන් 28.1%ක වැඩිම ජනගහණයක් බස්නාහිර පළාතේ පදිංචිව සිටින අතර 5.3ක් වූ අඩුම ජනගහණය පදිංචිව ඇත්තේ උතුරු පළාතේය.
දිස්ත්‍රික්ක මට්ටමින් ජනගහණ ව්‍යාප්තිය සැලකූ විට වැඩිම ජනගහණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය 2,433,685ක් වනවා.
දෙවැනි තැනට කොළඹ දිස්ත්‍රික්කය වාර්තා වී ඇති අතර එය 2,374,461ක් වනවා.
මේ අනුව මිලියන 02කට වැඩි ජනගහණයක් පදිංචිව ඇත්තේ මෙම දිස්ත්‍රික්ක දෙක තුළ පමණක් බවද ජාතික ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙනවා.
මෙම දිස්ත්‍රික්ක දෙකට හැරුණු විට පෙර සංගණනවලදී මෙන්ම මෙවරද වැඩි ජනගහණයන් පිළිවෙළින් කුරුණෑගල 1,760,829, මහනුවර 1,461,269, කළුතර 1,305,552, රත්නපුර 1,145,138 සහ ගාල්ල 1,096,585 යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.
එමෙන්ම දිවයිනේ ජනගහණය අඩු දිස්ත්‍රික්ක ලෙස පෙර සංගණනයන්වලට අනුවම උතුරු පළාතේ මුලතිව් 122,542, මන්නාරම 123,674, කිළිනොච්චි 136,434 සහ වවුනියා දිස්ත්‍රික්කයේ 172,257ක් ලෙසද වාර්තා වී ඇත.
මේ අතර වැඩිම සාමාන්‍ය වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එය 2.23ක් වනවා.
අවම සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ වවුනියා දිස්ත්‍රික්කයෙන් වන අතර එය 0.001ක් ලෙසද වාර්තා වී ඇත.
එමෙන්ම පෙර සංගණවලදී මෙන්ම මෙවරද වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 3,549ක් වූ වැඩිම ජනගහණ ඝනත්වයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර අවම ජනගහණ ඝනත්වයක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි.
එය වාර්තා වී ඇත්තේ ජනගහණ ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 50ක් ලෙසය.

