මහනුවර රිලවුන්ට වෙනම දූපතක්

මහනුවර දිස්ත්‍රික්කයේ වගා හානිකරන රිළවුන් අල්ලා වෙනම දූපතකට මුදාහැරීමට තීරණය කර තිබෙනවා.

එම දිස්ත්‍රික්කයේ වගාවලට රිළවුන්ගෙන් සිදුවන හානි සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කරන ලද විශේෂ කමිටුව ඊයේ (27) රැස් වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වෙන්නේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ජීවත්වන රිළවුන් රන්දෙණිගල ජලාශය මධ්‍යයේ පිහිටි අක්කර 200කට ආසන්න වපසරියකින් යුත් දූපතකට රැගෙනයාමට එහි දී තීරණය වී තිබෙනවා.

හේවාහැට ආසනයේ ගම්මාන 15ක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක මෙහි නියමු ව්‍යාපෘතිය සඳහා දැනටමත් රුපියල් මිලියන 10ක් වෙන්කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෙද්‍ය පීඨයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ප්‍රධානත්වය දරන අදාළ කමිටුවට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාවික හමුදාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව රැසක් එක් මෙම තීරණ ගෙන තිබේ.