පාප් වහන්සේ රෝහලෙන් පිටව යයි

මසකටත් වැඩි කාලයක් රෝමයේ ජිමෙල්ලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට රෝහලෙන් පිටව යාමට අවසර ලැබී තිබෙනවා.

ඒ අනුව 88 හැවිරිදි පාප් වහන්සේ අද දිනය තුළ රෝහලෙන් පිටව යනු ඇති බවයි රෝම මාධ්‍ය වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත් උන් වහන්සේට තවදුරටත් විවේක සුවයෙන් පසුවන ලෙසට වෛද්‍ය උපදෙස් ලබා ඇති බවයි සඳහන් වෙන්නේ.

රෝහලෙන් පිටව යාමට පෙර පාප් වහන්සේ එහි කවුළුවකින් මහ ජනතාව හමුවේ පෙනී සිටීමට නියමිතය.

එය උන් වහන්සේ රෝහල්ගතවීමෙන් පසුව අනුගාමිකයින් හමුවේ පෙනී සිටින පළමු අවස්ථාව වනු ඇත.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, පසුගිය පෙබරවාරි මස 14 වැනිදා හදිසියෝ රෝහල්ගත කෙරුණේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුකරගෙනය.

අනතුරුව උන්වහන්සේ ද්විත්ව නියුමෝනියා රෝගී තත්ත්වයකට ද ගොදුරු වූ අතර තරමක් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූවා.

ශුද්ධෝත්තමයන් වහන්සේගේ කාලසටහනට අනුව උන් වහන්සේ බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු හමුවීමට නියමිතව පවතින අතර, ඉදිරි කාලය තුළ පාස්කු සැමරුම් සඳහා ද එක්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.