සාමාන්‍ය පෙළ අපේක්ෂකයන්ට විශේෂ දැනුම් දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. 

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන් සඳහා ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම සඳහා පමණක් 2025.03.15 වන සෙනසුරාදා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල පෙරවරු 8.30 සිට පස්වරු 12.30 දක්වා විවෘතව තැබෙන බවයි දැනුම් දෙන්නේ.

එසේම අදාල ලිපිය www.drp.gov.lk දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස බාගත කිරීමටද පහසුකම් ලබා දී තිබෙනවා.

මේ වනතෙක් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගයට පෙනී සිටින පාසල් ඉල්ලුම්කරුවන් වේ නම්, ඒ සඳහා විදුහල්පති හෝ ග්‍රාම නිලධාරි විසින් සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් රැගෙන පැමිණිය යුතු බවද වැඩිදුරටත් දන්වා සිටී.

2024/2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු මස 17 දින සිට පැවැත්වීමට නියමිත ය.