යුක්රේනයට දෙන ආධාර නතර කිරීමට ඇමරිකාව තීරණය කරයි

යුක්‍රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර අත්හිටුවීමට අමෙරිකාව පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය සතියේ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇතිවූ වචන හුවමාරුවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

යුක්‍රේනය සහ රුසියාව අතර පවතින ගැටුම් නතර කර සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු බවට අමෙරිකානු ජනාධිපතිවරයා යුක්‍රේන ජනාධිපතිවරයාට දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව අදාළ අරමුණ කරා ගමන් කිරීමට බලකිරීමක් වශයෙන් අමෙරිකාව විසින් යුක්‍රේනයට ලබාදෙන හමුදා ආධාර සියල්ල අත්හිටුවීමට තීරණය කර ඇති බව ධවල මන්දිරය සඳහන් කර ඇත.

රුසියාව වසර තුනකට පෙර යුක්රේනයේ පූර්ණ පරිමාණ ආක්‍රමණයක් දියත් කළ දා සිට යුක්රේනයට ආයුධ, උපකරණ සහ මූල්‍ය ආධාර ඇතුළුව විශාල මිලිටරි ආධාර තොගයක් ඇමරිකාව විසින් සපයා තිබෙනවා.