වාහන ආනයන තහනම පෙබරවාරි 1වැනිදා  සිට ඉවත් කරනවා – ජනපති

වාහන ආනයන තහනම පෙබරවාරි 1වැනිදා  සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (19) හොරණ ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනුයි.

ආනයන සීමාවන් ඉවත් කිරීමෙන් පසු ආරම්භක කාල පරිච්ඡේදයේදී වාහන මිල ගණන් උච්චාවචනයන්ට ලක්විය හැකි බවයි ජනපතිවරයා පෙන්වා දුන්නේ.

මිල ගණන් ස්ථාවර වූ පසු, රාජ්‍ය වියදම් විධිමත් කිරීම සහ අතිරික්තයන් අඩු කිරීම සඳහා අඛණ්ඩ පියවරවල කොටසක් ලෙස රජයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇති බවයි ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

“පහුගිය කාලේ රජයේ වාහන අපි ගෝල්ෆේස් එකේ ගොඩගහලා තිබ්බා. එතන තියෙන එක ආරක්ෂිත නැති හින්දා අපි ආරක්ෂිත තැන්වලට ගිනිහින් තියෙනවා. අපි පෙබරවාරියේ ඉදන් අලුත් වාහන ගෙන්වනවා. ඒත් එක්කම වාහනවල මිලේ වෙනසක් වෙනවා. අන්න එතකොට අර අමාත්‍යාංශවල වාහන ඔක්කොම වෙන්දේසි කරලා මහා භාණ්ඩාගාරයට සල්ලි ගන්නවා. මේ රට හදන්න ඕනි.”