පෞද්ගලික බස් රථ වර්ජනයට සැරසෙයි ?

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ බස් රථ පරික්ෂාවත් සමග ඇතිව තිබෙන තත්ත්වය හමුවේ සිය කර්මාන්තය පවත්වාගෙන යෑමේ ගැටලු‍වකට මුහුණපා සිටින බව බස් සංගම් සහ බස් රථ රියදුරන් චෝදනා කරනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය ද ක්‍රියාත්මක කර ඇති විශේෂ රථ වාහන පරීක්ෂා කිරීම අදත් ක්‍රියාත්මක වුණා.

මෙම වැඩසටහන යටතේ මගී බස් රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් නිලධාරින් රාජකාරියේ යොදවා ඇති අතර රථ වාහන වැරදි පිළිබඳ රියැදුරන් දැනුවත් කිරීම හා නීතිය ක්‍රියාත්මක කිරීම සිදු වනවා.

පොලිසිය සිදුකරන පරික්ෂා කිරීම් හේතුවෙන් තම රැකියාව කරගෙන යෑමේ ගැටලු‍වක් මතුව ඇති බවයි බස් රථ රියදුරන් චෝදනා කළේ.

ඔවුන් සදහන් කළේ, මේ සම්බන්ධයෙන් විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේ දී වර්ජන ක්‍රියාවලියක නිරත වන බවයි.

මේ අතර බස් රථ සඳහා සිදු කරන මෙහෙයුම්වල පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන සතියේ දී වැඩබලන පොලිස්පතිවරයා හමුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.