අදත් බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක බව පහළට

පවතින කාලගුණික තත්ත්වය හා උතුරු පෙදෙසින් පැමිණෙන දේශසීමා ව්‍යාකූල තත්ත්වය හේතු කරගෙන අද (30) දිනයේ දී වායු ගුණත්ව තත්ත්ව දර්ශකය (SLAQl) 92 – 120ත් අතර අගයක පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

අද දිනය පුරාම එම තත්ත්වය පැවතිය හැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

පාරිසරික අධ්‍යන හා සේවා අංශය නිකුත්කළ දෛනික වායු ගුණ තත්ත්ව වාර්තාව අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුව සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා ඉහළ යා හැකි වනවා .

මේ අතර අද දිනයේ වායු ගුණත්ව තත්ත්ව දර්ශකයට අනුව කොළඹ නගරය තුළ ඒකක 108 – 116ත් අතර අගයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර යාපනයේ මෙන්ම පොළොන්නරුවේ එම තත්ත්වය එකක 112- 120ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

තව ද කුරණෑගල, වව්නියාව, මහනුවර, කෑගල්ල, ගාල්ල, බදුල්ල, ත්‍රිකුණාමලය ඇතුළු නගර රැසකම වායු ගුණත්ව තත්ත්ව දර්ශකය ඒකක 100ට වැඩි අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව එම ආයතනය නිවේදනය කරනවා.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කිසියම් පුද්ගලයෙකුට ශ්වසන අපහසුතා ඇත්නම් කඩිනමින් ඒ සඳහා වෛද්‍ය උපදෙස් වෙත යොමු වන ලෙසයි.

සාමාන්‍යයෙන් වායු ගුණත්ව තත්ත්ව දර්ශකය අනුව ඒකක 0-50 අතර අගයක පැවැතීම යනු යහපත් මට්ටම වන අතර, එය 51 -100 අතර මධ්‍යස්ථ මට්ටමක් ලෙස සලකනු ලබනවා.

ඒකක 101-150 අතර සුළු වශයෙන් අහිතකර වන අතර, ඒකක 151 – 200 දක්වා අහිතකර මට්ටමක් ලෙසයි සැලකෙන්නේ.