බිත්තරයක් 35ට දෙන්න පුළුවන්

වෙළඳපොළේ බිත්තරයක මිල ඉහළ ගියද බිත්තරයක් නිෂ්පාදනය සදහා වැය වන්නේ රුපියල් 23ත් – 25ත් අතර මුදලක් බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ පෙන්වා දෙන්නේ නිෂ්පාදන පිරිවැය පහළ අගයක පවතින බැවින් වෙළඳපොළේ රුපියල් 35ක් වැනි මිලකට බිත්තරයක් අලෙවි කළ හැකි බවයි.

පසුගිය මාස කිහිපය තුළ ඉතා ඉහළ අගයක් ගෙන තිබූ බිත්තර මිලේ යම් අඩුවක් ගතවූ සතියේ වාර්තා වුනා.

කෙසේ වෙතත් බිත්තර මිල එලෙස පහළ ගොස් සතියක් යන්නටත් මත්තෙන් යළිත් වරක් බිත්තර මිල ඉහළගොස් තිබෙනවා.

ඒ අනුව බිත්තරයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 40ත් 45ත් අතර මිලකටයි.