2025 වසරේ අතුරු අයවැය නොවැම්බරයේ පාර්ලිමේන්තුවට

එළඹෙන 2025 වර්ෂය සඳහාවන අතුරු අයවැය නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත නොවැම්බර් මාසයේදී ගෙන ඒමට අපේක්ෂා කරන බව ජාතික ජන බලවේගයේ ආර්ථික සභාවේ ප්‍රධානී මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කරනවා.

එමෙන්ම එසේ ගෙන එන අයවැය 2025 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට අපේක්ෂා කරන බවයි හෙතෙම සඳහන් කළේ.

2025 නව පාර්ලිමේන්තුව යටතේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ද නව රජය විසින් ක්‍රියාත්මක කරන බව ඔහු පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණයහිමියන් සමග ඇතිකරගෙන ඇති ගිවිසුම් මත ජනතාවට සහන සැලසීම සහ රට ස්ථාවර කිරීම රජයේ ප්‍රමුඛතාව බව ද ඔහු සඳහන් කරනවා.

මීට අමතරව, පසුගිය රජය ගෙන ආ වැටුප් වර්ධක යෝජනාව සහ 2025 පෙබරවාරි මාසයේදී වාහන ආනයන තහනම ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කරන බවයි මහාචාර්යවරයා පවසන්නේ.

මේ අතර, රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා අවම කිරීමට රජය අපේක්ෂා කරන බවත්, රටේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව සමාලෝචනය කර ඒ අනුව රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනය කිරීමට රජය බලාපොරොත්තු වන බවත්, ඔහු පවසනවා.

තවද, කොළඹ කොටස් වෙළඳපොලේ මෑතකාලීන ජයග්‍රහණ නව රජය කෙරෙහි ඇති විශ්වාසය ආයෝජකයින් විසින් මුළුමනින්ම පිළිබිඹු නොකරන බවත්, කොටස් හුවමාරුව රටේ සමස්ත ආයෝජක විශ්වාසය පිළිබිඹු නොකරන බවත්, ඔහු සඳහන් කරනවා.

එපමනක් නොව, ආණ්ඩුව කෙරෙහි විශ්වාසය ගොඩනැගීම හේතුවෙන් කොටස් වෙළඳපොල ඉහළ ගියේ යැයි තමන් පැවසුවහොත්, බොහෝ විට එය ඉදිරියේදී පහත වැටිය හැකි බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම ආයෝජකයින් මේ වන විට ලාභ අපේක්ෂාවෙන් සිටින බවත්, නව රජය කෙරෙහි යම් තරමකට විශ්වාසයක් ඇති වී ඇති බවත්, මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.