ඊශ්‍රායලයට සෘජු ප්‍රහාර දියත් කිරීමට ඉරානය සැරසෙයි

ඊශ්‍රායලය සමග ඇති මත ගැටුම පූර්ණ කාලීන යුද්ධයක් බවට පරිවර්තනය කරමින් ඉරානය, ඉදිරි දින දෙක තුළ ඊශ්‍රායලය වෙත සෘජු ප්‍රහාර දියත් කරනු ඇති බවට ඊශ්‍රායල බුද්ධි අංශ උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසනවා.

ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය කිරීමට ප්‍රතිප්‍රහාරයක් ලෙස මෙම ප්‍රහාර එල්ල කිරීමට නියමිතයි.

මේ අතරතුර ඉරානය සිය දකුණුදිග ප්‍රදේශයේ ක්‍රියාත්මක යුද අභ්‍යාස තවදුරටත් තීව්‍ර කර තිබෙනවා.

අගෝස්තු මස 15 වැනිදා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර අමෙරිකාව, කටාර් සහ ඊජිප්තුවේ මැදිහත්වීමෙන් පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා වටයට
සහභාගිවීම ද හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍යවල සඳහන්.

ඉරානය, ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කරනු ඇති බවට ප්‍රකාශවීමත් සමග මිසයිල ප්‍රහාර එල්ල කිරීමට හැකියාව ඇති සබ්මැරීන් යාත්‍රා මැදපෙරදිග වෙත කඩිනමින් යොමුකරන ලෙස අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම USS Abraham Lincoln (ඒබ්‍රහම් ලින්කන්) ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි නෞකාව ඇතුළු ප්‍රහාරක නෞකා කණ්ඩය වෙත ද උපදෙස් දී ඇත්තේ, මැද පෙරදිග කලාපය වෙත කඩිනමින් යාත්‍රා කරන ලෙසයි.

USS Abraham Lincoln නෞකාව F-35 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා සහ F/A-18 වර්ගයේ ගුවන් යානාවලින් සමන්විත වනවා.

මේ අතර හිස්බුල්ල සංවිධානය ඊශ්‍රායලයේ උතුරු දිග ප්‍රදේශයට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති අතර, ඉන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැහැ.