මන්ත්‍රී දේශපාලනයෙන් තමා ඉවත්වන බව සමගි ජන බලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයට මෙවර තරග කිරීමට නියමිතව සිටි මංගල සමරවීර මහතා පවසයි.
ඔහු මේ බව අනාවරණ කළේ පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව අපේක්ෂකයන්ගේ මනාප අංක අද ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශකර තිබූ පසුබිමකයි.
“2020 මහ මැතිවරණ සටනින් මම ඉවත්වෙමි” ඔබේ මනාපය දෙන්න එපා යන මැයෙන් මංගල සමරවීර මහතා අද පස්වරුවේ මාධ්‍යවෙත නිවේදනයක් නිකුත් කර තිබුණි.
එහි දැක්වුණේ තමා අද සිට මන්ත්‍රී දේශපාලනයට සමුදීමට තීරණය කළ බවයි.
ඒ අනුව ඉදිරියේ පැවැත්වීමට නියමිත 2020 මහමැතිවරණයේ ‘සමගි ජන බලවේගයේ’ අපේක්ෂකයකු ලෙස ඡන්ද නාම ලේඛනයේ තම නම සටහන්ව තිබුණද ඡන්දය ඉල්ලීමෙන් වැලකී සිටින බවයි සමරවීර මහතා නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ.
තම අංකය ඉදිරියේ මනාපය සටහන් නොකරන ලෙස මාතර දිස්ත්‍රික් ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින බවද ඔහුගේ නිවේදනයේ සඳහන්.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇති බවද මංගල සමරවීර මහතා පවසයි.
රට ගොඩනැගීමට නම් එක්සත් ජාතික පක්ෂයේ මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වියයුතු බව පවසන මංගල සමරවීර මහතා පක්ෂය බෙදී වෙන්වීම පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කරන බව අදාල නිවේදනයෙහි දක්වා තිබේ.
එමෙන්ම මේ මොහොතේ විපක්ෂය සිය කාර්යයභාරය කුමක්දැයි නිවැරදිව වටහාගෙන නොමැති බවත් ඒ මහතා පවසයි.
රටේ ප්රජාතන්ත්රවාදය ගරුකරන, සමාජ අනන්‍යතා සංස්කෘතීන් ඉවසන, එකිනෙකා කෙරේ වෛරයෙන් නොබැඳුණු මිනිස් කැලක් හා එක්ව නිවැරදි සංවර්ධන දිශානතියක් ගොඩනැංවීම වෙනුවෙන් නව දේශපාලන ප්‍රවේශයක ඇරඹුමක් අවශ්‍ය බවද සමරවීර මහතා නිකුත් කළ එම නිවේදනයේ සඳහන්.
මංගල සමරවීර මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වන්නේ මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වුවද තමා දේශපාලනයෙන් සමුගැනීමට හෝ විශ්‍රාම ගැනීමට කිසිඳු ලෙසකින් තීන්දු කර නොමැති බවයි.
එමෙන්ම අලුත් දේශපාලන ගමනක් ඇරඹීම සඳහා තමාට තිස්වසරකට වැඩිකාලයක් ශක්තිය දුන් එඩිතර මාතර ජනතාවගේ ආශීර්වාදය ඉදිරියටත් බලාපොරොත්තුවන බවද සමරවීර මහතා අදාල නිවේදනය මගින් අවධාරණය කරයි.
මංගල සමරවීර මහතා 1989 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අඛන්ඩව වසර 30 ක් කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස් ප්කෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරා තිබේ.

