2024 – 06 – 20

හිරු නැගීම – 05 : 55

හිරු මුදුන් වීම – 12 : 10

හිරු බැසීම – 18 : 26

අද ජුනි මාසේ විසි වෙනිදා, බ්‍රහස්පතින්දා.

මේ සතියේ අවසාන වැඩ කරන දවස තමයි අද. මේ සතියේ නිවාඩු දවස් තුනයි, වැඩ කරන දවස් තුනයි, ආයෙමත් නිවාඩු දවස් තුනයි නේ තියෙන්නේ. හරිම ලස්සන සතියක් නේද… හිකිස්.. හැමදාම මෙහෙම තිබුනා නම් හොදයි කියලත් හිතෙනවා.

හෙට පොසොන් පොහෝ දිනයත් එක්ක කට්ටිය ගොඩක් අනුරාධපුරය බලා අද පිටත් වෙනවා. එයාලගේ ගමන් පහසුව වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වගේම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නොමිලයේ ප්‍රවාහන පහසුකම් පවා ලබා දීලා තියෙනවා.

අද දවසේ විශේෂත්වය ගත්තොත් අද World Refugee Day එහෙමත් නැත්නම් ලෝක සරණාගත දිනය. යුද්ධය, සහ ජීවත්වීමේ අපහසුතා නිසා වසරකට විශාල ප්‍රමාණයක් තමන්ගේ මව් රටවල් අත හැරලා සරණාගතයන් විදිහට අනෙක් රටවලට යනවා.

වර්තමානයේ ගාසා තීරය, ඇෆ්ගනිස්ථානය, සිරියාව වගේ රටවලින් විශාල වශයෙන් සරණාගතයන් ලෙස ජනතාව පිට වෙනවා. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සඳහා වන ඒජන්සියට අනුව 2024 වසර අවසාන වන විට ලෝකයේ ජනතාව මිලියන 130ක් පමණ සරණාගතයන් විය හැකි වනවා.

ඉතින් මේ තත්ත්වය ඇත්තටම දරුණු තත්ත්වයක්. මේ සරණාගතයන් වෙනත් රටවලට බෝට්ටු ආදිය හරහා ගමන් කරන්න ගිහින් එකවර විශාල ප්‍රමාණයක් ජිවිතක්ෂයට පත් වුනු ප්‍රවෘත්ති නිතරම අපිට අසන්න ලැබෙනවා. එයාලා ඉතින් යහපත් ජිවිතයක් ජිවත් වීමේ අරමුණින් තමයි වෙනත් රටවලට එහෙම අනතුරුදායක ක්‍රම හරහා පවා යන්න පෙළඹෙන්නේ.

යුද්ධය කිසිම ප්‍රශ්නයකට පිලියමක් නෙමෙයි. යුද්ධයක් අවසානයේ කිසිදු පක්ෂයක් සැබෑ ජයග්‍රහණයක් ලබා ගෙන නැහැ, ඒ නිසා යුද්ධය කියන දේ පිටුදැකිය යුතු දෙයක්.

ජුනි 20 වෙනිදා කියන්නේ ලෝක Tennis දිනයත් වෙනවා. අද විශේෂයෙන්ම court tennis සඳහා වෙන් කරපු දවස. මේක ගෘහස්ත ක්‍රීඩාවක්. ලීයෙන් සැකසු විශාල Racket තමයි මේකේ දී යොදා ගන්නේ.

අද summer solstice එක එහෙම නැත්නම් උතුරු අර්ධගෝලයේ වසරේ දීර්ඝතම දිවා කාලයක් සහිත දවස වෙනවා. පෘථිවියේ අක්ෂීය සූර්යයා දෙසට උපරිම ආනතියකින් යුතුව ඇලවීම නිසා මේ දවස ඇති වෙනවා.

අපි වගේ සමකය ආසන්න රටවලට නම් වසරේ හැම දාම වගේ දිවා හා රාත්‍රී කාල සමානව තමයි තියෙන්නේ. එත් උතුරු සහ දකුණු අර්ධගොලවල ධ්‍රැව ආසන්නයට යනකොට මේ දිවා රාත්‍රී වෙනස හොඳින්ම දැනෙන්න ගන්නවා,

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න. හෙටත් නිවාඩුවක් තියෙන නිසා ඔන්න නිදහසේ අද නම් ඉන්න පුළුවන්.

ජය වේවා! තෙරුවන් සරණයි!