2024 – 05 – 28

හිරු නැගීම – 05 : 52

හිරු මුදුන් වීම – 12 : 06

හිරු බැසීම – 18 : 21

අද මැයි 28 වෙනිදා, අඟහරුවාදා.

අඟහරුවාදා කියන්නේ අඟහරුට වෙන් වුණු දවස කියනවා නේ. අඟහරු කියන්නේ ටිකක් අපේ පෘථිවිය ලඟින් ඉන්න ග්‍රහයෙක්. රතු ග්‍රහයා කියලාත් මෙයාව හඳුන්වනවා. අඟහරුගේ මතුපිට තියෙන යකඩ ඔක්සයිඩ එහෙමත් නැත්නම් මලකඩ නිසා තමයි මෙයාව මෙහෙම රතු පාටට පෙන්නේ.

දැන් නම් මිනිස්සු මේ අඟහරු ග්‍රහයා මත ජනාවාස හදන්නත් සැලසුම් සකස් කරලා ඉවරයි. දැනට නම් මෙයාගේ මිනිසුන්ට හිතකර වායුගෝලයක් පවතින්නේ නැහැ, මෙයාගේ වායුගෝලය සිතල වියළි එකක්. අපිට අඟහරු මත මිනිස්සු ජනාවාස ඉදි කරන හැටි බලන්න පුළුවන් වෙන්නත් බැරි නැහැ.

අද දවස දිහා බැලුවොත් එහෙම අද World Hunger Day එක. මොන දේ ඉවසුවත් බඩගින්න ඉවසන්න බැහැ කියනවා නේ. මේ ලෝකේ හැම සත්ත්වයාටම බඩගින්න කියන දේ පොදුයි. මේ හැමදේම කරන්නේ කන්න නේ.

අපි මෙහෙම කනකොට, මේ ලෝකේ කොච්චර මිනිස්සු ඉන්නවද හරියට ආහාර වේලක් කන්න නැති. ගාසා තීරයේ එහෙම මිනිස්සු කොච්චර නම් බඩගින්නේ ඉන්නවද. අප්‍රිකානු රටවල් කීයක පොඩි දරුවන්ට කන්න නැතුව මන්දපෝෂණය තියෙනවද… බඩගින්න් හැමෝටම දැනෙන දෙයක්. අපිට බඩගිනි හැදුනාම අමාරුයි වගේම මේ ලෝකේ ඉන්න හැමෝටමත් බඩගිනි හැදුනහම අමාරුව දැනෙනවා.

මේ වගේ දවසක් වෙන් කරලා තියෙන්නේ ලෝකේ හරියට ආහාර වේලක් නොලබන මිනිස්සුන්ගේ දුක තේරුම් ගන්න කරන මතක් කිරීමක් විදිහට. 2011 වසරේ දී තමයි මේ දවස ඉස්සෙල්ලම පටන් අරන් තියෙන්නේ.

මේ ලෝකේ මිනිස්සු දහදෙනේක්ගෙන් එක් කෙනෙක් උග්‍ර බඩගින්නේ ඉන්නවා කියලා පරියේෂණ වලින් හොයා ගෙන තියෙනවා. ඒ වගේම අවුරුදු පහට වඩා අඩු දරුවන් මිලියන 45ක් උග්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙනවා.

ශ්‍රී ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ලංකාවෙත් දැන් දැන් බඩගින්නේ ඉන්න පිරිස ඉහළ යමින් පවතිනවා. ඇත්තටම රටක් විදිහට අපි අසාර්ථකයි පොඩි දරුවෙක්ට කන්න ටිකක් නැතුව එයාට බඩගින්නේ ඉන්න වෙනවා නම්.

ඉතින් අපි අපිට පුළුවන් විදිහට එයාලාට උදව් කරමු! ඒක අහිංසක ඉල්ලීමක්!

අද තියෙන තවත් දවසක් තමයි Menstrual Hygiene Day එක. ඔසප් කාලේ දී පිරිසිදුකම කියන එක අනිවාර්යයෙන් තියෙන්න ඕනි. ඒ කාලේ ගැහැණු ළමයෙක්ට විසබීජ ආසාදනයක් වුණත් වෙන්න වැඩි ඉඩක් තියෙන නිසා සෞඛ්‍යාරක්ෂිත products පාවිච්චි කරන්න ඕනේ.

විවිධ හේතූන් නිසා ලෝකේ වටේම ඉන්න මිලියන 500ක් වගේ ගැහැණු ළමයින් සහ ගැහැණුන්ට මේ Menstrual Hygiene එක අහිමි වෙලා තියෙනවා.

Menstrual Hygiene එක කියන්නේ Pad, Cups වගේ sanitary products ලබා ගැනීමේ හැකියාව විතක්ම නෙමෙයි, ඒවා නිසියාකාරව මාරු කර ගැනීමට ඉඩ තිබීම, පිරිසිදු කර ගැනීමේ හැකියාවක් තිබීම සහ භාවිතා කරන ලද ඒ දේවල් නිසියාකාරයෙන් බැහැර කිරීමට හැකි වීම කියන දේවල් එහෙමත් අයිති වෙනවා.

ඔසප් වීම කියන්නේ තෝරා ගැනීමක් නෙමෙයි, ඒ නිසා අනිවාර්යයෙන් ඒකට අවශ්‍ය පහසුකම් සපයන්න ඕනේ.

අද ටිකක් ගැඹුරු දේවල් වලට වෙන් වෙලා තියෙන දවසක්. එහෙම තමයි, ඒ දේවල් අනිවාර්යයෙන් සාකච්ඡා කළ යුතු සංකීර්ණ දේවල්. අද විතරක් නෙමෙයි, හැමදාටම ඒ දේවල් සම්බන්ධයෙන් කටයුතු සිදු කරන්න ඕනේ.

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න. බඩගින්නේ ඉන්න කෙනෙක් හිටියොත් එයාටත් ඔයාට පුළුවන් විදිහට මොනවා හරි උපකාරයක් කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!