ඔබේ බලු සුරතාලට අනිවාර්යයෙන් දෙන්න ඕනි එන්නත් තුනක්

අද වෙනකොට ගෙදරක බල්ලෙක් ඉන්නවා කියන එක හරිම සාමාන්‍ය සුලබ දෙයක් බවට පත් වෙලා. ඉතින් ඒ බලු සුරතලාව නිරෝගිව තියා ගන්න එන්නත් කියන දේ අනිවාර්යය දෙයක්. ඇත්තම කිව්වොත් ඒ එන්නත් හරහා ගෙදර අයත් ආරක්ෂා වෙනවා කිව්වොත් වැරදි නැහැ. මොකද මෙයාලට හැදෙන සමහර රෝග අපිටත් හැදෙන්න පුලුවන්, සහ ඒවා මාරාන්තික වෙන්න පුළුවන්.

ඉතින් ගෙදරට බලු පැටියෙක් ගෙනාපු ගමන්ම නම් ටිකක් වැඩියෙන් එන්නත් තියෙනවා එයාට ලබා දෙන්න. ඊට පස්සේ ඉතින් එයා ලොකු වෙනකොට එන්නත් දෙන්න ඕනේ ප්‍රමාණය අඩු වෙනවා සහ වාර ගණනත් අඩු වෙනවා.

පොඩි දරුවෝ වගේම තමයි ඉතින් බලු පැට්ටෝ කියන්නෙත්

මේ තියෙන්නේ සුනඛයන් සඳහා මූලිකව නිර්දේශ කර ඇති එන්නත් වර්ග තුනක්. මේ තුන අනිවාර්යයෙන් දෙන්න කියලා තමයි නිර්දේශ කරන්නේ. 

ජලභීතිකා එන්නත 

ජලභීතිකා රෝගය හටගන්නේ රේබීස් වෛරසය හේතුවෙන්. මොළය සහ මධ්‍යම ස්නායු පද්ධතියට පහර දෙන එම වෛරසය එක් සත්ත්වයෙකුගෙන් තවත් සත්ත්වයෙකුට බෝ වන්නේ ආසාදනය වුණු සත්ත්වයාගේ ඛේටය හෝ ශ්ලෙෂ්මලය මඟින්. විශේෂයෙන්ම සමෙහි තුවාලයකට, ආසාදනය වුණු ඛේටය තැවරීමෙන් පහසුවෙන් ජලභීතිකාව සම්ප්‍රේෂණය වනවා. ඉතින් ඔයාගේ බලු සුරතාලාට හෝ වෙන ඕනිම ක්ෂීරපායි සතෙක්ට මේ රෝගය තිබුනොත්, එයාලගෙන් ඔයාට මේක බෝ වෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් බලු පැටවෙකු උපත ලබා සති 10ක් පමණ ගිය පසු මුල්ම ජලභීතිකා එන්නත ලබා දිය යුතු වෙනවා. දෙවන ජලභීතිකා එන්නත ලබා දිය යුත්තේ බලු පැටවාගේ වයස සති 16ක් පමණ වුණු පසුව යි. ඊට පස්සේ ජලභීතිකා එන්නත වාර්ෂිකව නිසි වෙලාවට ලබා දෙන එක තමයි තියෙන්නේ.

පාවෝ එන්නත

සුනඛයන්ට වැළඳෙන ඉතාමත්ම භයානක රෝගයක් තමයි මේකත්. මෙය සති 6 සිට මාස 6 දක්වා වන කුඩා සතුන්ට වැළඳීමට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම තමයි Rottweiler, Doberman Pinscher, Labrador, සහ German Shepherd  වැනි වර්ගවල සුනඛයින් මෙම රෝගයට ගොදුරු වීමේ සම්භාවිතාවය වැඩියි කියලා තමයි කියන්නේ.

ඉතින් ඔයාගේ බලු සුරතලා මේ වර්ග වල කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ එන්නත නිසි වෙලාවට දෙන එක වැදගත් වෙනවා.

බලු පැටවෙකු උපත ලබා සති 6ක් පමණ ගිය පසු මුල්ම පාවෝ එන්නත ලබා දිය යුතු වෙනවා. දෙවන පාවෝ එන්නත ලබා දිය යුත්තේ බලු පැටවාගේ වයස සති 12ක් පමණ වුණු පසුව යි. ඊට පස්සේ වාර්ෂිකව පාවෝ එන්නත ලබා දිය යුතු වෙනවා.

DHL එන්නත 

DHL එන්නත මඟින් සුනඛයන්ට පස්ස පණ නැති වීමේ රෝගය (ඩිස්ටෙම්පර්), සෙංගමාලය (හෙපටයිටිස්) සහ මී උණ (ලෙප්ටොස්පිරෝසිස්) වැළඳීමේ අවදානම අවම කරනවා.

සාමාන්‍යයෙන් බලු පැටවෙකු උපත ලබා සති 8ක් පමණ ගිය පසු මුල්ම DHL එන්නත ලබා දිය යුතු වනවා. දෙවන DHL එන්නත ලබා දිය යුත්තේ බලු පැටවාගේ වයස සති 14ක් පමණ වුණු පසුව යි. ඉන් පසුව සුනඛයාට වාර්ෂිකව මේ DHL එන්නතත් ලබා දිය යුතු වනවා.

ඉතින් පේනවානේ මේ වැදගත් එන්නත් තුනම වාර්ෂිකව ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. මේ තුනෙන් බලු සුරතලාව එයාට ඇති වෙන්න පුළුවන් මාරාන්තික රෝග බොහොමයකින් ආරක්ෂා කරනවා.

ජලභීතිකා එන්නත නම් රජයෙන් නොමිලයේම විද ගන්න පුළුවන්. අනික් එන්නත් වර්ගත් පශු වෛද්‍යවරයෙක් හම්බ වෙලා ලබා ගන්න පුළුවන්.