හෙට සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්

ඉදිරි දිනවලදී හෙටින් (08) පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි වනවා.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 පමණ තරමක තද වැසි ඇතිවේ.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.