2024 – 05 – 03

හිරු නැගීම – 05 : 54

හිරු මුදුන් වීම – 12 : 06

හිරු බැසීම – 18 : 17

අද මැයි 03 වෙනි දා සිකුරාදා දවස.

සිකුරාදා දවස කියන්නේ බොහොමයක් ආගම්වල විශේෂ කරලා සලකන දවසක්. හින්දු ආගමේ බ්‍රාහ්මණයන් බොහොමයක් දෙනා සිකුරාදාට අනිවාර්යයෙන් ස්නානය කරනවා. ඒ වගේම ඉස්ලාම් බැතිමතුන් සිකුරාදා මස්ජිදයේ විශේෂ ජුම්මා මෙහෙයන් සඳහා සහභාගී වෙනවා. සමහර කතෝලික පල්ලි වලත් සිකුරාදා දිනයේ විශේෂ දේව මෙහෙයන් පැවැත්වෙනවා.

කොහොම වුණත් සිකුරාදායින් පස්සේ එන සති අන්තය හැමෝටම වගේ ටිකක් විවේක වෙන නිසා හැමෝටම සිකුරාදා ටිකක් විවෙකදායි හැඟීමක් ඇති කරන දවසක් වෙලා තියෙනවා.

මැයි 03 වෙනිදා දවසේ විශේෂත්වය ගත්තොත් අද World Press Freedom Day හෙවත් ලෝක ලෝක මාධ්‍ය නිදහස දිනය. මාධ්‍ය නිදහස කියන දේ ලංකාවේ ඔන්ලයින් පනත ආපු කාලේ ටිකක් වැඩිපුර කතා බහට ලක් වුණු දෙයක්. රටක නිදහස් මාධ්‍යයක අරමුණ තමයි රටේ දේශපාලන නායකයන්ට වහල් නොවී, සමබර විදිහට සියලුම ප්‍රවෘත්ති හරියට ජනතාවට ඉදිරිපත් කිරීම.

ගොඩක් වෙලාවට හැම මාධ්‍යයක්ම වගේ පක්ෂපාති විදිහට තමයි ප්‍රවෘත්ති කියන්නේ. ඒ වගේම එයාලට සමහර දේවල් සම්බන්ධයෙන් විවෘතව කතා කිරීමේ නිදහස නැහැ. ලංකාව විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල මේ තත්ත්වය මෙහෙමයි.

විශේෂයෙන් උතුරු කොරියාව, චීනය වගේ රටවල තියෙන්නේ රාජ්‍ය මාධ්‍ය මිසක්, ඒවායේ නම් මාධ්‍ය නිදහසක් නැතිම තරම්.

මැයි මාසේ පලවෙනි සිකුරාදා දවස හැම අවුරුද්දකම නම් කරලා තියෙනවා International Space Day එක විදිහට. ඉතින් මේ අවුරුද්දේ අද තමයි ඒ දවස. අභ්‍යාවකාශය දැන් මිනිසා විසින් ජය ගෙන අවසානයි කියනවා නේ. දැන් ඉන්නේ මිනිසුන් අඟහරු මත පවා ජනපද ඇති කරන්න යන ගමනක.

Space එකත් එක්කම බැඳුනු තවත් දවසක් අදට යෙදිලා තියෙනවා. ඒ තමයි Sun Day හෙවත් සූර්යයා වෙනුවෙන් වෙන් කරන ලද දවස. සූර්යයා කියන්නේ පෘථිවියේ ජිවය රඳා පවතින දැවැන්ත සාධකයක්. වැඩි හෝ අඩු සූර්යයාලෝකය යන දෙකම ජීවයේ පැවැත්මට අහිතකර ලෙස බලපානවා.

අතීතයේ සිටම ශක්තිය, ජීවය සහ ආලෝකය නිරුපණය කරන්න සූර්යයා යොදා ගෙන තියෙනවා. අතීතයේ බොහෝ මිනිසුන් මේ සූර්යයා වන්දනා කරනු ලැබුවා.

ඉතින් තමන්ගේ ශරීරය, ජීවිතය පවත්වා ගෙන යන්න සියලු දේ වගේ දෙන සූර්යයාට කෘතගුණ දැක්වීමක් ලෙස ඔහු වන්දනා කිරීම එක්තරා ආකාරයක පිළිගත හැකි දෙයක් විදිහටයි මන් නම් දකින්නේ. මොකද සූර්යයා යම් හෙයකින් නැතිව ගියොත් මේ ලෝකේ ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය නැති වෙලා, ඔක්සිජන් හිඟයක් ඇවිත්, කන්න බොන්න නැතුව මැරෙන්න තමයි වෙන්නේ.

1978 වසරේ දී ඇමරිකානු වැසියන් තමයි ඉස්සෙල්ලාම මෙහෙම දවසක් සමරලා තියෙන්නේ. විශේෂයෙන්ම එයාල අරමුණු කරලා තියෙන්නේ සූර්යය ශක්තිය බල ශක්තියක් විදිහට භාවිතා කිරීම දිරි ගැන්වීම.

එහෙනම් මේ සිකුරාදා හොඳින් සතුටින් ගත කරන්න.

මතක තියා ගන්න, ඔයාට පුළුවන්.

ජය වේවා! තෙරුවන් සරණයි!