සහල් ඇතුලේ හරක් මස් හැදෙන අලුත්ම හයිබ්‍රිඩ් කෑම

ලෝකයේ දිනෙන් දින වැඩි වෙන ජනගහනයේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම වෙනුවෙන් දැන් නූතන තාක්ෂණය යොදා ගෙන විවිධ පරීක්ෂණ සිදු කරනවා.

ඒ වගේ පරීක්ෂණයක නියැලුණු කොරියානු විද්‍යාඥයන් පිරිසක් සහල් ඇතුලේ හරක් මේද සෛල සහ මාංශ පේශින් වර්ධනය කරමින් නව දෙමුහුන් ආහාරයක් හඳුන්වලා දීලා තියෙනවා.

මෙම පරීක්ෂණය සිදු කළ යොන්සෙයි විශ්ව විද්‍යාලයේ ජෛව අණුක ඉංජිනේරු සොහියොන් පාර්ක් ප්‍රමුඛ කණ්ඩායම සඳහන් කරන්නේ මෙම ආහාරය රෝස, ඇලෙන සුළු වගේම ඉතා පෝෂදායි ධාන්‍ය වර්ගයක් වන බවයි.

සහල් මත මාළු ජෙලටින් සහ ආහාර එන්සයිම ආලේප කර පසුව එළදෙනකගේ මාංශ පේශි සහ මේද ප්‍රාථමික සෛල සමඟ ගැටෙන්නට තබා දින 9 සිට 11ක් දක්වා අතර කාලයක පෙට්‍රි දීසි වල රදවා තබමිනුයි මෙම ආහාර වර්ගය නිෂ්පාදනය කර තිබෙනවා.

මෙම හරක් මස් සහල් සාමාන්‍ය සහල් වලට වඩා ප්‍රෝටීන සහ මේදය අඩංගු වන අතර තරමක තද බවකින් ද යුතු වනවා.

එම විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ හරක් මස් ප්‍රෝටීන ග්‍රෑම් 1ක් සැකසීම සඳහා යන වියදමට සාපේක්ෂව අඩු වියදමකින් මෙම හරක් මස් සහල් නිෂ්පාදනය කළ හැකි බවයි.

මේ සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ කටයුතු සිදු කරමින් එය සැකසීමට යන කාලය තවත් අඩු කිරීම ඔවුන්ගේ අරමුණ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.