උතුරු කොරියානු හමුදාව විසින් කෲස් මිසයිල කිහිපයක් මුහුදට එල්ල කරමින් තවත් ආයුධ අත්හදා බැලීමක නිරත වූ බවට දකුණු කොරියාවේ සෝල් හමුදා නිවේදනය කරනවා.
එහි දක්වා ඇත්තේ දකුණු කොරියානු හමුදාව විසින් අද එරට දේශීය වේලාවෙන් පෙරවරු 09:00 ට පමණ වොන්සාන් හි ඊසාන දෙසින් පිහිටි ජලයට ඉහළින් නොදන්නා කෲස් මිසයිල කිහිපයක් අනාවරණය කර ගත් බවයි.
ඒවා සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශන දකුණු කොරියානු-එක්සත් ජනපද බුද්ධි බලධාරීන් විසින් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
උතුරු කොරියාව විසින් මේ වසරේ ජනවාරි මාසයේ සිට එවැනි අවි අත්හදා බැලීමක් සිදු කළ පස්වැනි අවස්ථාව මෙය වනවා.
මෙම මිසයිල ප්‍රහාර එල්ල කළේ ගොඩබිමෙන්ද නැතිනම් මුහුදේ සිට ද යන්න සම්බන්ධව තවමත් නිශ්චිත වශයෙන් සඳහන් කර නැහැ.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ජනවාරි මස මුලදී දකුණු කොරියාව “අපේ ප්‍රධාන සතුරා” ලෙස හැඳින්වූ අතර මෙම අත්හදා බැලීම් ඔස්සේ ඔහු දකුණු කොරියාව කෙරෙහි යම් ආක්‍රමණශීලි පිළිවෙතක් අනුගමනය කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

