රාමසාන් සමයේ මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට සහනයක්

එළඹෙන රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමිනුයි.

මෙවර රාමසාන් සමය මාර්තු 12 වන දින සිට අප්‍රේල් 11 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර එම කාල සීමාව තුළ මුස්ලිම් රාජ්‍ය සේවකයින්ට ආගමික වතාවත්වල යෙදීමට හැකිවන පරිදි වැඩමුර සකස් කර දිය යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන් කර තිබෙනවා.

එසේම නොවැළැක්විය හැකි අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කරදෙන ලෙස ද එහි සඳහන්.

රාමසාන් අවසන් වීමට දින 14කට පෙර රාජ්‍ය සේවයේ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සුදුසුකම් ඇති මුස්ලිම් නිලධාරීන් සඳහා උත්සව අත්තිකාරම් ලබාදීමට ද කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.