සේවා අර්බුද නිරාකරණ යාන්ත්‍රණය රාජ්‍ය සේවයට හඳුන්වා දීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහය

සේවා අයිතිවාසිකම් පිළිබඳ අර්බුද නිරාකරණය සහ වැලැක්වීමේ යාන්ත්‍රණයක් රාජ්‍ය සේවයට හඳුන්වා දීමේ රජයේ ක්‍රියාවලිය සඳහා සහාය වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් (ILO) ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ( ILO) නේවාසික අධ්‍යක්ෂ ජොනී සිම්ප්සන් ( Joni Simpson) මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රි ෆ්‍රාන්ච් (Marc-André Franche) මහතා අතර අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවක් අතරතුර දී යි.

මේ සම්බන්ධයෙන් ගත් මූලික පියවර සහ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් ද නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළ කළහ. යෝජිත යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට ඔවුන් අග්‍රාමාත්‍යවරයාට සහතික වූ අතර, එමඟින් අර්බුද නිරාකරණයට පමණක් නොව, ත්‍රෛපාර්ශ්වික සංවාද පද්ධතියක් හරහා අනාගතයේදී ගැටුම් වළක්වා ගැනීමට ද හැකි වනු ඇතැයි විශ්වාස කරනවා.

කොවිඩ් වසංගතයත් සමග ඇති වූ ආර්ථික අර්බුදය ශ්‍රම බලකායට ඇති කරන බලපෑම සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට කම්කරුවන්ට, විශේෂයෙන් අඩු ආදායම්ලාභී ශ්‍රම බලකායට උපකාර කිරීමට රජය ගෙන ඇති කෙටිකාලීන හා දිගුකාලීන පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහි දී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිත පිරිස දැනුවත් කර තිබෙනවා.

ශ්‍රම බලකායේ යහපැවැත්ම සහ ශ්‍රම බලකායේ කුසලතා නංවාලීම සඳහා රජය විසින් ගනු ලබන සියලුම ප්‍රයත්නයන් සඳහා ILO නියෝජිත පිරිස පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වී තිබෙනවා.