සමස්ත ලංකා හෙද සංගමය වර්ජනයෙන් ඉවත් වීමේ තීරණයක්

හෙට සංවිධානය කර ඇති සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනය සඳහා තමන් සහය නොදෙන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමි දැනුවත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි එම සංගමයේ සාමාජිකයින් මේ බව සඳහන් කළේ.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම වැඩ වර්ජනය රජයේ කුමන්ත්‍රණයක් බැවින් ඉන් ඉවත්වීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වනවිට බලධාරීන් දැනුවත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මාසයක කාලසීමාවක් බලධාරීන් ඉල්ලා සිටි බවත් ඉන් අනතුරුව එම යෝජනා සඳහා නිසි පිළිතුරක් නොලැබුණහොත් සිය සංගමය ද වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවත් සමස්ත ලංකා හෙද සංගමය අවධාරණය කරනවා.