ආණ්ඩුව කෘෂිකර්මාන්තය විනාශ කර දැමීමේ උත්සාහයක – සජබ මහා ලේකම්

සහල් සහ බඩඉරිඟු පිටරටින් ආනයනය කර රටේ කෘෂිකර්මාන්තය විනාශ කර දැමීමට ආණ්ඩුව උත්සහ කරමින් සිටින බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

සීනි බද්ද අඩු කර තම ගජ මිතුරන්ට සහන ලබාදීමට සීනි ආනයනය සිදු කළ ආකාරයට ආණ්ඩුව හාල් සඳහා අයකළ රුපියල් 68 බද්ද රුපියලට බස්සා හාල් ආනයනයට කටයුතු කරන බවයි මහලේකම්වරයා සඳහන් කළේ.

එසේම විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ ආණ්ඩුව බාල බෙහෙත් ආනයනය කළා මෙන් බාල හාල් ආනයනයට සුදානම් වන බව මෙම තීරණයෙන් පැහැදිලි වන බවත් ය.

වී අස්වැන්න හොදින් ලැබෙන කාලයක හාල් ටොන් ලක්ෂ ගණනක් පිටරටින් ගෙන්න ආණ්ඩුව කටයුතු කරන බවත් මේ හෛ්තුවෙන් වී විකුණා ගැනීමට නොහැකිව රටේ ගොවි ජනතාව දැඩි අසරණ තත්ත්වයකට පත් වනු ඇති බවත් මහලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියා.