ඩීසල්, පෙට්‍රල්, ගෑස් ඇතුලු ජන ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයකට පනවා ඇති වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ද ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශයේ අවදානය යොමුවී තිබෙනවා.
අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අතරතුර අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය පැවසුවේ ඉන්ධන සහ ගෑස් සඳහා ජනවාරි පළමුවනදා සිට VAT බද්ද ක්‍රියාත්මක කිරීමේදී වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බවය.
ඒ අනුව ඉන්ධන සඳහා 18% ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී එමම බද්දෙන් 7.5% ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත්වනු ඇත.
එසේම ගෑස් සඳහා 18%ක VAT බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් ඉන් 2.5% ක වූ වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත්වනු ඇත.
“ලබන මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන නව බදු සංශෝධනයට අනුව භාණ්ඩ හා සේවා රැසක් සදහා සියයට 18 ක වැට් බද්ද පැනවෙනවා. එල්.පී. ගෑස්, පෙට්‍රල්, ඩීසල්, සූර්ය පැනල, ගෘහස්ථ සූර්යබල පද්ධති, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර, ජංගම දුරකථන, සහ රසායනික පොහොර ඇතුලු භාණ්ඩ වර්ග 95 ක් අලුතින් වැට් පැනවෙන භාණ්ඩ අතරට අයත්. කෙසේ වෙතත් විශේෂ වෙළද භාණ්ඩ බද්ද අයකෙරෙන භාණ්ඩ වර්ග 65 ක් සදහා වැට් බද්ද අය කෙරෙන්නේ නැහැ.”

