ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියාවලට යන පළමු කණ්ඩායම පිටත්වෙයි

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා තෝරා ගත් පළමු කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඊට අදාළ ගුවන් ටිකට්පත් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ඊයේ (18) ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති උත්සවයක් අතරතුර දී පිරිනමනු ලැබුවා.

30 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායමේ 10 දෙනෙකු ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගිය අතර, අනෙක් 20 දෙනා සහ තවත් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (19) ඊශ්‍රායලය බලා පිටත්ව යන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා ඉදිරි සති කිහිපය තුළ ශ්‍රමිකයින් 10,000ක් පිටත් කර යැවීමට නියමිතව තිබෙනවා.

එසේම අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කළේ රැකියාවලට යාමට යම් අතරමැදියෙක් සඳහා මුදල් ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වුවහොත් මුදල් ලබා දී ඇති ශ්‍රමිකයින් මෙරට ගෙන්වා ගැනීම සඳහා ඊශ්‍රායලය සමඟ එකඟතාවයකට පැමිණ තිබෙන බවයි.