ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය දැවැන්ත අර්බුධයක

ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භ වී දින 66ක් මේ වන විට ගත වී ඇති අතර යුද්ධය හේතුවෙන් ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය දැඩි ලෙස පිරිහී ගොස් ඇතැයි වාර්තා වෙනවා.

ගාසා තීරයේ රෝහල් 36ක් ඇති නමුත් දැනට ඉන් සේවා සපයන්නේ රෝහල් 11ක පමණක් වනවා.

එම සේවා සපයන රෝහල් වල සේවාවන් ද විශාල වශයෙන් අඩපණ වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

මේ අතර ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්‍රහාර වඩාත් තීව්‍ර කර ඇති අතර දකුණු ගාසා තීරයේ පිහිටි ඛාන් යූනිස්හි සටන් වඩාත් දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

එසේම ඊජිප්තු දේශසීමාව වන රෆා ආසන්නයේ ද ගැටුම් හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ප්‍රහාර හමුවේ ඇමරිකාව දිගින් දිගටම අවධාරණය කරන්නේ ගාසා තීරයේ වෙසෙන සිවිල් වැසියන්ගේ ජිවිත වලට ප්‍රමුඛත්වය දෙමින් ඔවුන්ට වන හානිය අවම වන ලෙස ප්‍රහාර දියත් කරන ලෙසයි.

මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පුද්ගලයන් 18,200කට අධික ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා.